බන්ධනාගාරගත කාන්තාවන්ට හිංසා කිරීම, පහරදීම, වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හා මානව හිමිකම් කොමිසමට ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය ගරු අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සාරෝජා පෝල්රාජ් මහත්මිය වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.
කාන්තා රැඳවියන් රඳවා සිටින බන්ධනාගාර වෙත කණ්ඩායමක් ලෙස ගොස් බන්ධනාගාරගත කාන්තාවන් හා ඔවුන්ගේ දරුවන් මුහුණ දී ඇති තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගන්නා ලෙස ‘නිදහසේ කාන්තාවෝ සංවිධානය’ පාර්ලිමේන්තු කාන්තා සංසදයේ සමාජිකාවන්ගෙන් ඉල්ලා සිටී.
නිදහසේ කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු සුවන්ති වීරසේකර මහත්මිය විසින් යොමු කර ඇති ලිපි මගින් දැක්වෙන්නේ, මීගමු බන්ධනාගාරයේ රෝගී තත්වයට පත් රැඳවියන්ට ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා විරෝධාතාවයේ නිරතවුණු කාන්තා රැඳවියන්ගෙන් බහුතරය මේ වන විට පල්ලේකැලේ බන්ධනාගාර වෙත යොමු කර ඇත. මෙම රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට පමණක් නොව නීතිඥවරුන්ට ද මේ වන අවස්ථාවක් නොලැබෙන බව වාර්තා වී ඇති බවයි. මෙය ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි. විශේෂයෙන්ම කාන්තා සිරකරුවන් සහ ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පැනවූ ජාත්‍යන්තර නීති මාලාව වන බැංකොක් රීති (Bangkok Rules) උල්ලංඝනය කිරීමක් බව ද ලිපියේ දැක්වේ.
තවදුරටත් ලිපියේ දැක්වෙන්නේ, පල්ලේකැලේ බන්ධනාගාරයේ රඳවා ඇති කාන්තා රැඳවියන්ගේ පහරදීමෙන් ඇතිවු තුවාල, කැලැල් ඇස්ථි බිඳීම් පවා සිදුවී ඇති බව වාර්තා වේ. ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර හෝ ලබා දෙනු නොදෙන බව ද වාර්තා වී ඇත. මෙයින් පිරිසකට තිරස්චීන ලෙස පහරදීම් සිදු කර ඇති බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුව විසින් ද වාර්තා කර තිබුණි.
රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් 31 දෙනෙකු ඝාතනයවීමෙන් පසුව මේ වන විට මීගමුව බන්ධනාගාරයේ එවකට රදවා සිටි රැඳවියන්ට අතිශයින් කුරිරු හා සාපරාධී ලෙස සැලකීමේ සිදුවීම් රැසක් වැලිකඩ, පල්ලේකැලේ, බූස්ස, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවලින් වාර්තා වී ඇති බවට මාධ්‍ය වාර්තා පවතී. ඔවුන්ගේ මුලික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට අවශ්‍ය ජලය සපයා නොදීම, ඖෂධ හා වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම පිළිබඳ චෝදනා පවතී.
මාසයකට වරක් මහෙස්ත්‍රාත්වරුන් විසින් බන්ධනාගාර පරීක්ෂාකළ යුතුව ඇති නමුත්, එය මේ වන විට සිදු නොවේ. තව ද, මීගමුවේ සිට රැගෙන ආ රැඳවියන් හමුවීමට, පවුලේ සාමාජිකයින්ට අවස්ථාව අහිමිකර ඇත. තව ද, නීතිඥ සේනක පෙරේරා පවසන්නේ, වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගෙන් තොරව නීතිඥවරුන්ට දැන් සිය සේවාදායක රැඳවියන් සමඟ අදහස් හුවමාරු කර ගත නොහැකි තත්වයක් පවතින බවයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම හේතුවෙන් බන්ධනාගාරයන් හි කාන්තා රැඳවියන් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි, ශිෂ්ඨ සමාජය විසින් පිළිකුලෙන් යුතුව හෙළා දකින ආකාරයේ හිංසනයන්ට මෙම කාන්තාවන් මුහුණදී ඇත.
තව ද, වහාම දිවයිනේ සියළුම බන්ධනාගාරවල කාන්තා රැඳවියන් රඳවා ඇති ස්ථාන වෙත ගොස් ඔවුන් මුහුණ දී ඇති තත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලෙසත්, මොවුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත කරැණු වාර්තා කරන ලෙසත් කාරුණිකව ඉල්ලමි.
පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමියන්ලා කණ්ඩායම් ලෙස කාන්තා රැඳවියන් සහ ඔවුන්ගේ කුඩා දරුවන් රඳවා සිටින බන්ධනාගාර වෙත ගොස් එහි රැඳවියන් මුහණු දෙමින් සිටින සකල ආකාරයේ පීඩාවන්, හිංසනයන් නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස ද වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට මැදිහත්වන ලෙස ද, ‘නිදහසේ කාන්තාවෝ සංවිධානය’ ඉල්ලා සිටී.
Lanka Newsweek © 2026